ලාංකීය නලා ලෙස ලංකාවේ අදටත් භාවිතා වන්නේ හක්ගෙඩි, හොරණෑ, කොම්බු ආදියයි. කොම්බුව සහ හොරණෑවේ මුලාරම්භය ඉන්දීය අභාෂයකින් බවට මතයක් ඇති නමුත් ඒ පිලිබඳ ස්ථිර මතයක් නොමැත. ලංකාවේ නලා භාවිතය පිළිබඳ සොයා බැලීමේ දී අනුරාධපුර රාජධානි සමය ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් ලෙස හැඳින්වීම සුදුසුය. සාහිත්‍ය මූලාශ්‍ර, විවිධ වාස්තවික මූලාශ්‍ර, පුරාවිද්‍යා මූලාශ්‍ර ආදී බොහෝමයක් එහි විකාශනය පිළිබඳව සඳහන් කරයි.
නමුත් ඊට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් මෙන්ම මිනිස් වාසයක් තිබූ බව ජන ප්‍රවාද තුලින් මෙන් ම ඉන්දීයාවේ සෘෂිවරයෙක් වන වාල්මීකී විසින් රචනා කර ඇති රාමායණය තුළින් ද පැහැදිලි වේ. රාමායණයට අනුව ලංකාවේ රජකළ රාවණා රජු සකලවිධ කලාවන් හි කෙළ පැමිණි අයෙකි. ශිව තාණඩ් ස්තෝත්ර නම්වන සංස්කෘත කාව්‍ය රාවණ රජුගේ කෘතියක් යැයි කියවේ. එම කාව්‍යයේ ගායන ඇසූ ඊශ්වර තමා දත් සියලු නර්තන රාවණ රජුට කියා දුන් බව ද ජනප්රවාදයේ පැවතේ (විජයමාලා මැණිකේ 2010:22). එසේ නම් එහි පංචතූර්ය පැවති බවට අපට නිගමනයකට එළඹීමට හැක.
දීපවංශයේ සදහන් වන්නේ බුදුන් වහන්සේ දෙවන වර ලක්දිවට වැඩම කර යකුන් ගිරි දිවයිනට පලවා හැරීමෙන් අනතුරුව ඔවුන් තම භූමිය ගැන තුටින් උත්සව පැවැත් වූ බවය. එසේ නම් එහිදීද සංගීතය හෝ පංචතූර්ය පැවති බවට අපට නිගමනයකට එළඹීමට හැක. විජය කුමරු මෙරටට පැමිණෙන අවස්ථාව වනවිටත් මෙරට සංගීතය තිබූ බවට යම් ඉඟියක් වංසකථාවෙන් සපයාගත හැකි ය. විජයකුමරු ලක්දිවට පැමිණි දින කුවේණිය සමඟ නිදමින් සිටිය දී තූර්යවාද සහිත ගී හඬක් ඇසී (තුරිය සද්දං ච සුත්වා ගීතරාවං ච) ඒ පිළඳව කුවේණියගෙන් විමසූ අවස්ථාවේ දී ”මේ දිවයිනෙහි සිරිසවත්ථු නම් නගරයක් ඇත. එහි මහාකාල නම් රජුගේ සහ පෝලමිත්තාවගේ විවාහ උත්සවයෙන් නැගෙන සංගීත හඬ” බව ඇය පැවැසූ බව දැක්වේ (ඉලංගසිංහ 2007:133).
නමුත් මෙම තොරතුරු සනාථ කරගත හැකි නිශ්චිත පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හමු වී නොමැත. විජය, පඩුවස් දෙව්ගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා වූ රජ පෙලපත් හරහාද දුමින්දාගමනය, දකුණු ඉන්දීය ආක්‍රමණ වැනි වෙනත් දේ හරහාද පැමිණි ඉන්දියානු සංස්කෘතිකමය බලපෑම හේතු කොටගෙන එම සංගීත භාණ්ඩ හෝ ක්‍රම අභාවයට යන්නට ඇත.
ලංකාවේ සුෂිර වාදන භාණ්ඩ පිළිබඳව ලිඛිත සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුරාධපුර යුගයේ සිට අපට හමුවන අතර අශෝක අධිරාජ්‍යයා විසින් එවූ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවේ පූජා කටයුතු සඳහා පංචතූර්ය වාදනය කළ යුතු බවත් සංඝමිත්තා තෙරණිය සමග පැමිණි කලා ශිල්ප 18ක ( අටලොස් බෝධි ආවතේව කුල ) පිරිසෙහි 18 වැන්නවුන් වන දෙවි කුලය මහා බෝධියේ එම හේවිසි පූජා පැවැත්වීමට පැමිණි බවත් මහාවංසයේ සදහන් වීම එහි පළමුවැන්නයි. තවත් එවන් මූලාශ්‍ර නම්,
1. සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය වඩම්වන අවස්ථාව විස්තර කරන වංසකථාකරුවන් දෙවියන් සහ මිනිසුන් ආතතවිතතාදී සංගීත භාණ්ඩ වයමින් නටමින් ගයමින් සතුටින් අත්පොලසන් දුන් බව සඳහන් කර තිබේ (දීපවංසය 1997:156)
2. කාවන්තිස්ස රජතුමා ”මිණි කොඩොල් රසන්දම් වළලූ ආදී නානාවිධ විචිත‍්‍රාලංකාරයෙන් සැරසුණා වූ එසේ ම නානාවිධ වස්ත්රයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ පංචාංගික තූර්යය ගත් අත් ඇති දිව්‍යප්සරාවන් සමාන වූ නාටක ස්ත්‍රීන් පිරිවරන ලදුව මහජනයා සමඟ චෛත්‍යස්ථානයට ගොස් …” චෛත්‍ය ආරම්භක ස්ථානයට පුද පූජා පැවැත් වූ බව ධාතුවංසයේ සඳහන් වේ (ධාතුවංසය 1961:82).
3. “නත්තෘ පංචාංගික චරිවං කාස – ආතතං විතතං ආතත විතතා නාම – ශුෂිරය ඝනිත්ති පංච විධෝ” – මහාවංස ටීකාව
4. සොළොස් දහසක් නාටක ස්ත්‍රීන් පිරිවරා සක්දෙව් රජුමෙන් තමන්ගේ ශ්‍රී සම්පත්තියෙන් බොහෝ දෙනා සතුටු කරමින් ගැටබෙර, පණාබෙර, එකැස්බෙර, මිහිඟු බෙර, දද්දර, පටහ, ලොහොබෙර,තලප්පර, විරන්දම්, උඩැක්කි, තම්මැට, රණරඟ ඝොෂා, සමුද්‍ර ඝොෂා, ඩෞර සිත්නම් යන මෙකී භෙරී ජාතීන් ද රන් සක්, රිදී සක්, ජය සක්, රුවන් සක්, රන් සින්නම්, රිදී සින්නම්, රුවන් සින්නම්, රන් දාරා, රිදී දාරා, දළහන්, ලෝහන්, ගවරහන්, විජයෝධ්වනි, ඔත්තු තන්තිරි, පටසරි මෙකී කාහළ ජාතීන් ද නකුල වීණා, භෟංග වීණා, ක්ෂුද්‍ර වීණා, ආලවත්ති, වඕගි, වස්දඩු, මේ ආදී නාදයෙන් ද යුගන්ධර පර්වත සමීපයෙහි සාගර නාදයක් මෙන් මහත් වූ යශශ්රීන් මහත් වූ පෙරහරින් පස්වරු දාගැබ බදිනා ස්ථානයට නික්මුණේය” (ථූපවංසය 61).
5. සිට්ඨලපබ්බත විහාරය අසබඩ ගවිට නම් ග්‍රාමයේ, උප්පල නමැත්තාගේ පුතු ලෙස ඵුස්සදේව මෙලොව එළිය දැක ඇත. කොළුවෙකු ලෙස විහාරය වෙත ගිය ඵුස්සදේව හට හක්ගෙඩිය, හෙණ හඬ තරම් ශබ්දයකින් ලෙස පිඹීමට හැකිවීම නිසා, උම්මාදඵුස්සදේව ලෙස නම් ලැබීය. පසුව ඵුස්සදේව, කිසිදා ඉලක්කය නොවරදන දුනුවායෙක් බවට පත් වීම. (මහාවංශය – පරිච්ඡේදය 23, පාඨය 82-89)
මිට අමතරව භාතිකාභය රජු මහා ථූපයට උපහාර පිණිස නැටුම් හා පංචතූර්ය නාදය වසරක් පාසා පැවැත්වූ බව (මහාවංශය), පංචතූර්ය පිළිබඳව වූ ප්‍රථම වර්ගීකරණය (වංසත්ථප්පකාසිනිය), මුල්කිරිගල විහාරයේ පාත මළුවෙහි දෙවන විහාරය හෙවත් කොම්බු හා නලා පිඹින කාන්තා රූප (තේලපත්ත හා වෙස්සන්තර ජාතක කථා වල සිතුවම්) සහ ලෝවාමහාපායේ කණු හිස්වල, මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ සහ කැලණි විහාරයේ හක්ගෙඩිය (ශංඛය) සහ හරස් බටනලා (වංස) වාදක වාමනයින්ගේ රූකම් දක්නට තිබීම ආදිය වේ.
නමුත් සේන සහ ගුත්තික ගෙන් ඇරඹ පංච ද්‍රවිඩයන්, ෂඩ් ද්‍රවිඩයින් ඇතුළු වරින් වර සිදුවූ දකුණු ඉන්දීය ආක්‍රමණ නිසාවෙන් ඇතිවූ සංස්කෘතික බලපෑම හේතුවෙන් ලංකාවේ ඉන්දීය සංස්කෘතිකාංග, ඒවායේ සංගීතය සහ එම සංගීත භාණ්ඩ ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. ලංකාවට අනන්‍ය වූ නලා මුල්කොට ගත් සංගීත ශෛලියක් වන මෝලම් හෙවත් පපර සංගීතයේ ආරම්භය ද මෙමගින් සිදුවන්නට ඇති බවට නිගමනය කල හැක.
අනුරාධපුර රාජධානිය චෝල පාලනයට නතු වීමත් සමග ඔවුන් විසින් විජය රාජපුර හෙවත් පොළොන්නරුව අගනුවර කරගන්නා ලදි. හත්වන අග්බෝ, පළමුවන සේන වැනි රජවරුන් පෙරදී පොළොන්නරුවේ රජකම් කළද , පොළොන්නරු යුගය ආරම්භ වූවා යැයි සැලකෙන්නේ එම චෝල පාලනය අවසන් කළ පළවන විජයබාහු රජුගෙනි. දකුණු ඉන්දීය බලපෑම් හේතුවෙන් සංස්කෘතිකමය වෙනසක් සිදුවී තිබුණද රාජ්‍ය අනුග්‍රහය සහිතව හින්දු ආගමික බලපෑම් සිදුවන්නේ මෙකලය. චූලවංශයේ,
1. 66 පරිච්ඡේදයේ 132/ 133 ගාථාවලින් දැක්වෙන පරිදි මහා පරාක්‍රමබාහු රජු විසින් යුද කටයුතු වෙනුවෙන් පවත්වාගෙන ගිය සංගීත බලකාය සිංහල ගන්දබ්බ ලෙස හැඳින්වූ බවත් සංගීත නැටුම් ආදිය පුරුදුකොට චර පුරුෂ සේවයේ යෙදවූ බවත් 2. 73 පරිච්ඡේදයේ ගාථා 82/86 ලාංකික රාජසභා සංගීතය ලෙස වැදගත් වන සරස්වතී මණ්ඩපය පිළිබඳවත්
3. 73 පරිච්ඡේදයේ 141/142 ගාථාවල පරිදි රජුගේ රූපවතී බිසව නැටුමෙහි ගැයුමෙහි දක්ෂ බව දැක්වීමත්
තුලින් සංගීතය සදහා තිබූ රාජ්‍ය අනුග්‍රහය පැහැදිලි වේ.
ශිව, ගණදෙවි, කතරගම (කාර්තික්), පාර්වතී යන දේව ඇදහීම් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවී ඇති නිසා පොළොන්නරු යුගයේදී හක් (ශංක්),නාද ස්වරම් (හෝ හොරණෑ) වාදනය කර ඇති බවට නිගමනයකට එළඹිය හැක. පරාක්‍රමබාහු රජු විසින් දළදා මණ්ඩපය අවට වීණා , බටනළා හා බෙර වයන්නන් රදවා සිටි බව චූලවංශයේ දැක්වූවත්, නළා පිඹීම වෘත්තීයක් ලෙස පැහැදිලිව දක්වා ඇත්තේ ක්‍රි.ව. 1202- 1208 රජකළ කල්‍යාණවතී රැජිනගේ සමයේ පිහිටවූ රන්මැලි සෑ සෙල්ලිපියේ සක් පිඹින්නන්, පංචයන් ආදීන් රක්ෂා කර ඇති බව සදහන් වීමෙනි.
චෝල ආක්‍රමණය හමුවේ ක්‍රි.ව. 1246 දී 3වන විජයබාහු රජු විසින් පොළොන්නරුවේ සිට දඹදෙණියට රාජධානිය ගෙනයන ලදි.
i) සප්ත ස්වරයෙහි නිපුණයෙකු ලෙස හඳුන්වන කරිකාල යන දෙමළ වචනය කලිකාල ලෙස ගෙන දෙවන පරාක්‍රමබාහු විශේෂණ කොට යෙදීම
ii) භාරතීය සංගීතය හා සම්බන්ධ ඉපැරැණි සංස්කෘතික ග්‍රන්ථවල පමණක් දක්නට ලැබෙන මූලධර්ම හා සංගීත භාණ්ඩ එලෙසින්ම කව්සිළුමිණ, සද්ධර්මාලංකාරය වැනි ග්රන්ථ වල එලෙසම දක්නට ලැබීම
iii)රජතුමාගේ දින චර්යාව දැක්වෙන කඳවුරු සිරිත තුල දිනකට රජතුමා වෙනුවෙන් හතර වතාවක් සංගීත හා නැටුම් මුර පවත්වා තිබීම
ආදියෙන් දඹදෙණි යුගයේ සංගීතය රාජ්‍ය අනුග්‍රහය සහිතව හොදින් පැවතුණු බව පැහැදිලි වේ. දළදා පූජා කටයුතු හා රාජසභා කටයුතු වෙනුවෙන් වෙන වෙනම විජ්ජතුන් නමින් යුත් තූර්ය වාදන කණ්ඩායම් පැවති නිසා නලා පිඹීම වෘත්තීයක් ලෙස දඹදෙණි යුගයේද පැවතී ඇති බව පැහැදිලි වේ
දඹදෙණි රාජධානියෙන් පසු කෝට්ටේ රාජධානිය තෙක් සංගීතය හා නලා පිළිබඳ මූලාශ්‍ර සොයා ගැනීමට අපහසුය. ඒ එකළ තිබූ දේශපාලන අස්ථාවරත්වය නිසාවෙනි. නමුත් හයවන පරාක්‍රමබාහු රජ සමයේ රචිත සංදේශ කාව්‍ය , ගුත්තිල කාව්‍ය වැනි කලා කෘති තුලින් හරහා විදහා දැක්වෙන සාහිත්‍ය දියුණුව තුළ සංගීතයද යම් මට්ටමක පැවති බව නිගමනය කල හැක.
තවද පෘතුගීසි බලපෑම නිසා මේ කාලවකවානුවේදී ලංකාවේ Manha, Kaffrinha, baila වැනි වෙනත් බටහිර හා අප්‍රිකානු සංගීත ශෛලීන්ද මුල්බැසගෙන ඇත. මෙකලම ට්‍රම්පට් , ට්‍රොම්බෝන් වැනි බටහිර සංගීත භාණ්ඩ ලංකාවේදී භාවිතා වීම ඇරඹුණු බවට මතයක් ඇත. කොනප්පු බණ්ඩාර, දෝන කතරිනා, ධර්මපාල, තිදෙනා දොන් පිලිප් , දොන් කැතරින් , දොන් ජුවන්, ලෙස බෞතීස්ම ලබා පෘතුගීසින්ගෙන් අධ්‍යාපනය ලැබීමත් ඉන්පසු 1 වන විමලධර්මසූරිය ලෙස දොන් ජුවන් කුමරු රජ වීමත් කුසුමාසන දේවිය ලෙස දොන් කැතරින් ඔහුගේ රැජින වීමත් හේතුවෙන් එලෙස වන්නට ඇතැයි නිගමනය කල හැක.
1වන විමලධර්මසූරිය හා සෙනෙරත් හැරුණු කොට මහනුවර රාජවංශයේ අනෙක් රජවරුන්ට බිරින්දෑවරුන් වූයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතික බිසෝවරුය. තවද ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විනෝදකාමී සංගීතයට ඉතා ප්‍රිය කල අවසාන සිංහල රජුවේ. ඉන්පසු සිටි සියල්ලන් දකුණු ඉන්දීය නායක්කාර් වංශිකයං වේ. මේ හේතුවෙන් මෘදංගම්, චෙන්ඩා, තැවිල්, නාදස්වරම් වැනි දකුණු ඉන්දීය සංගීත භාණ්ඩ හා මේලම්, නාටකම් වැනි ශෛලීන් රජවාසල ප්රමුඛව ලංකාව තුල ප්‍රචලිත වී ඇත. ලංකාවේ මෝලම් හෙවත් පපර සංගීතයේ හැරවුම් ලක්ෂයක් ලෙස මෙය අපට සදහන් කල හැක. රාජසභාවට අයත් සංගීත ,නැටුම් ආයතනවන
1. කවිකාර මඩුවේ තිබූ කර්ණාටක සංගීතය වෙනුවෙන් දකුණු ඉන්දීය නාද ස්වරම් වැනි දකුණු ඉන්දීය නලා ද
2. තම්බෝරු පුරම්පෙට්ටුකාර අංශයේ භාවිතා කලා යැයි සැලකෙන ට්‍රොම්බෝන් , ට්‍රම්පට් වැනි බටහිර නලා ද
3. සිංහාරක්කාර අංශයේ හි හොරණෑව භාවිතා වීමද
ආදිය මහනුවර යුගයේ නලා භාවිතයට සාක්ෂි වේ.
මහනුවර ඇසළ පෙරහැර සම්බන්ධයෙන් කෙරෙන පළමු චාරිත්රයවන කප් සිටුවීමේ මංගල්‍යය සිට පංච තූර්ය යොදාගැනේ. විශේෂයෙන් පෙරහැරේදී හොරණෑව , කොම්බුව , හක් ගෙඩිය යන නලා භාවිත කරයි . මහනුවර යුගයේ අවසානයේ පැවති දළදා පෙරහැරට සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක් භාවිතා කිරීමට 1829දී සර්. එඩ්වඩ් බාන්ස් නියෝගයක් පනවා ඇත. විශේෂයෙන් 2006 වසරේ සිට පෙරහැරට අලුතින් එක් කල හොරණෑ වාදන අංගයේදී (separate ) ජය මංගල ගාථා, ගජගා වන්නම ආදී නාද මාලා වාදනය කෙරේ.
Add comment